The King 2 Hearts TV Series



2012 වසරේදී තමයි මේ කොරියානු කතා මාලාව විකාශනය වෙලා තියෙන්නෙ. IMDB ශ්‍රේණිගත කිරීම් වලින් 8.0 ක ඉහල අගයක් හිමි කරගෙන තියෙන මේ කතා මාලාව Action, Drama, Romance යන කාණ්ඩයන් යටතේ වර්ග කරන්න පුලුවන්. කතා මාලාව ගැන හෙළිලි හේමමාලි සහෝදරිය ලස්සන පැහැදිලි කිරීමක් කරල තියෙනව බයිස්කෝප් අඩවියේ. ඒ ලිපියේ උපුටා ගැනීමක් පහතින් දාල තියෙනව අපේ යාලුවන්ට බලාගන්න.


දිනය- 1989 නොවැම්බර් 9වෙනිදා 

ස්ථානය – කොරියානු සමූහාණ්ඩු නව මාලිගය

දකුණු කොරියානු රජතුමා පුවත් විකාශය නරඹමින් සිටින අතර විශේෂ පුවතක් වාර්තා වේ.

වාර්තාකරු– ජර්මානුවන්ගේ අවශ්‍යතාවයට නොව ලෝක බලවතුන්ගේ වුවමනාවන් සපුරා ගැනීමට ඉඳි කළ බර්ලින් තාප්පය වසර 28කට පසුව බිඳ වැටී තිබෙනවා. නැගෙනහිර ජර්මානුවන්ගේ ඔල්වරසන් හඬවල් බ්‍රැන්ඩන්බර්ග් දොරටුව අසල සුලබ දසුනක් බවට පත්ව තිබෙනවා. වසර ගණනක් පුරා ඔවුන් අත්විඳි දුක් අදෝනා වල පුපුරා යෑමක් ලෙස මේ ඓතිහාසික මොහොත හැඳින්විය හැකියි.

එහෙත්… නැගෙනහිර ජර්මනියත්, බටහිර ජර්මනියත් අතර මිත්‍රත්වයේ අරුණළු නැගෙද්දි, උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර වෛරයේ ගිනි සිළු නැගෙන්නට පටන් ගෙන තිබුණි. යුද්ධයේ බියෙන් හැකිලෙන දහස් ගණනක් ජනතාව අතර දකුණු කොරියාවේ මීලඟ රජතුමා ද විය. නමින් ලී ජේ කන්ග් වූ ඔහු නවයොවුන් වියේ පසුවූවත් දෑසින් නම් දිස් වූයේ පරිණත වූවෙක් මෙන් සාමකාමි කොරියාවක සිහිනයයි.

ඒ සිදුවීමෙන් වසර 23ක් සපිරෙද්දී, සාමයේ පණිවුඩය උතුරු කොරියාවත්, දකුණු කොරියාවත් අතර හුවමාරු විය. ලෝක දේශපාලනය එසේය. සැනෙකින් වෙනස් වන සුළුය. අද ඔබේ සතුරා, හෙට ඔබේ මිතුරා විය හැක. මිත්‍රත්වයේ පළමු පියවර ලෙස අන්තර්ජාතික ශූර වීර හමුදා නිලධාරින් තෝරා ගැනීමේ තරඟාවලියට එකම කණ්ඩායමක් ලෙස උතුරු හා දකුණු කොරියානුවන් එක්ව සහභාගි වීමයි. එදා අනාගත රජු ලෙස සාමකාමි දේශයක සිහිනය දුටු ඔහු ම, මේ ඓතිහාසික සිදුවීමේ කොටස්කරුවෙකු ලෙස පෙනී සිටීම දෛවෝපගතය.

උතුරු කොරියානු පාර්ශවයෙන් හමුදා නිලධාරින් දෙදෙනෙක් හා එක් නිලධාරිනියක් යෝජනා වේ. ඒ අන් කවරෙක් වත් නොව සිනාසෙන දඩයක්කාරිය නැතහොත් කිම් හන්ග් අහ් ය. ඇගේ කෝපය පිරිමින් දවා හලු කළ හැකි මට්ටමේ යි. නමුත් ඈ සටන පටන් ගන්නේ සිනාවෙන්‍ ය. සතුරා වරද්ද ගන්නේ ද එතනදී ය.

දකුණු කොරියානු පාර්ශවය නියෝජනය කරමින් දක්ෂයන් දෙදෙනෙක් අතරට ආධුනිකයෙක් එක්වේ. නමින් ලී ජේ හා වන මේ ආධුනිකයා සාමාන්‍ය වැසියෙක් නොව රාජකීයයෙකි. සරලවම දේශයේ අනාගත රජු ඔහුය. එහෙත් අභාග්‍යය නම්, රාජකීය භාවයේ වගකීම් සහිත ස්වභාවය වෙනුවට ඔහු සතු වූයේ විනෝදකාමි, හිතුවක්කාර යෞවනයෙකුගේ ස්වභාවය වීමයි.

සිනාසෙන දඩයක්කාරිය සහ නාහෙට නාහන, දඟකාර කුමාරයා අතර සුසංයෝගය… උතුරත්, දකුණත් යා කරනා මිතුරු දමේ පාලම තනයි ද? රජු පතන සාමයේ සිහිනය සැබෑවක් කරන්නට ඔවුන් සමත් වෙයිද? The king 2 heartsපවසන්නේ එකී සිහිනයේ කතාන්දරයයි. එහෙනම් අපේ යාලුවන්ටත් අපි ආරාධනා කරනව මේ ලස්සන කතා මාලාව නරඹන්න කියල.



 Like Us On Facebook TV Series & Movies List
 How to pay   How does it work